Sunday, June 15, 2014

2014 ලෝක කුසලානයේ පළමු වරට භාවිතාවන ගෝල රේඛා තාක්‍ෂණය

FIFA නීතියට අනුව ගෝලයක් ලෙස සැලකීමට බෝලය පූර්ණ ලෙස ගෝල රේඛාවේ පසුපසට යා යුතුය. බෝලයේ ඉහලින් බැලූවිට කිසියම් ප්‍රමාණයක් ගෝල රේඛාව මත තිබෙනම් එය ගෝලයක් ලෙස නොසලකයි.



අධි වේගයෙන් කෙරෙන ක්‍රීඩාවකදී දුරක සිටින විනිසුරුවරයාට සහය ලබාදීමට ගෝල රේඛා තාක්‍ෂණය 2014 ලෝක කුසලානයේ භාවිතා කරයි.  එක ක්‍රමයක් වන්නේ ගෝලය වෙත විවිධ උස සහ කෝණ වලින් කැමරා ව‍‍ලින් ගන්නා වීඩියෝ පිංතූර ගණනක් ත්‍රිමාණ මොඩලයකට හරවා තත්පරයක් ඇතුලත තීරණයක් ලබාදෙන තාක්‍ෂණයයි. දෙවැන්න වන්නේ ගෝල් කණු දෙක අතර කුඩා චුම්බක ක්ෂේත්‍රයක් ඇතිකර, බෝලයට සවිකල ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රෝණ උපාංගයක් මගින් චුම්බක ක්ෂේත්‍රයේ ඇතිකරන බලපෑම මැනීමයි.


අද ප්‍රථම වරට ගෝල රේඛා තාක්‍ෂණය මගින් හොණ්ඩුරාස්ට එරෙහිව ප්‍රංශයට ගෝලයක් ලැබිනි. ප්‍රංශයේ කරීම් බෙන්සිමා එල්ල කල පහර ගෝල කණුව වැදී ගෝල රකින්නා වන නොඑල් වලාඩෙරෙස් අතට වැදී, ඔහු අතින් ගෝල රේඛාව පසු කෙරිණි. ගෝල රේඛා තාක්‍ෂණය නිසා එය ප්‍රංශයට හොණ්ඩියුරාස් ගෝල රකින්නා ලබාදුන් ස්ව ගෝලයක් ලෙස වාර්ථා වූ අතර ගෝලය බෙන්සීමාට නොලැබිණි.



2010 ලෝක කුසලානයේදී ෆ්‍රෑන්ක් ලැම්පාඩ්ට නොලැබුණු ගෝලයෙන් ජර්මනිය ජයග්‍රහණය කලේය. යුරෝ 2012 තරඟාවලියේදී ගෝල රේඛා තාක්‍ෂණය භාවිතා කිරීමට තීරණය කලේ උක්රේනය එංගලන්තය සමග පැවති තරඟයේදී ගෝලය තුලට ගිය බෝලය ජෝන් ටෙරී විසින් බිම වැටීමට පෙර ඉවතට ගැසීම නිසාය. ටෙනිස් ක්‍රීඩාවේ සාර්ථක ලෙස භාවිතා කළ "හෝක් අයි" කැමරා ක්‍රමයද "ගෝල්රෙෆ්" මයික්‍රෝචිප් ක්‍රමයද 2012 ජපානයේ පැවති ලෝක සමාජ තරඟාවලියේදී ප්‍රථම වරට පාපන්දු ක්‍රීඩාවේ භාවිතා විණි.



No comments: