Saturday, June 21, 2014

ආකර්ශණීය ජර්මන් ඝානා තරඟය අවසන් වූයේ 2-2 ලෙසය

අැස ඉවත් නොකර බලාසිටින්නට තරම් ආකර්ශණීය ජර්මන් ඝානා තරඟය අවසන් වූයේ 2-2 ලෙසය.
ප්‍රථම භාගය අවසාන වන තුරුම ගෝල වාර්ථා නොවුණි. 51 විනාඩියේදී  ජර්මනියේ මුලර් ලෙස දැමූ බෝලය ලබාගත් මාරියෝ ගොටෙස් ආරක්‍ෂකයන් මග හරවා දර්ශනීය ගෝලයක් දැලටම ගැසුවේය.





ඉන් විනාඩි 3 කට පසුව ඇන්ඩෘ ආයු ඉහල බෝලයකට ජර්මානු ආරක්‍ෂක මස්තාෆි පරයා ඉහල පැන හිසින් ගසා ගෝලයක් ගෙන තරඟය සම කලේය.


 63 වන විනාඩියේදී ජර්මනියේ පැත්තේදීම නායක පිලිප් ලාම්ගෙන් බෝලය උදුරා ගත් ඝානා ක්‍රීඩකයෙක් ආරක්‍ෂකයන් දෙදෙනා අතරින් ලබාදුන් බෝලය අසමෝ ගයාන් ඉලක්කයට ගෝලයේ වම් පසට එල්ල කර  ඝානාව 2-1 ලෙස ඉදිරියට ගෙන ආවේය.









 එතැන් පටන් ජර්මන් ක්‍රීඩාව හිරවූ බවක් පෙනුනි. තරඟය ඝානාව පැත්තේ තිබුණි. ජර්මනියේ පුහුණුකරු ජොකිම් මැද පෙල සැමී කදීරා වෙනුවට ස්වාසෙන්ටයිගර්ද මාරියෝ ගෝටෙස් වෙනුවට මිරසෝව් ක්ලෝස්ද ආදේශ කලේය. 





තරඟයේ 71 විනාඩිය දක්වා ඝානාව ඉදිරියෙන් සිටයේය.  ආදේශක ප්‍රහාරක මිරස්ලෝව් ක්ලෝස් ජර්මනිය ඝානාව හමුවේ පරාජයෙන් බෙරා ගත් ගෝලය ලබාගත්තේය. ඒ සමගම ඔහු බ්‍රසීලයේ රොනල්ඩෝගේ ලෝක කුසලාන ගෝල 15 වාර්ථාව සම කළේය. රොනල්ඩො 1998 සිට ලෝක කුසලාන 4කදී ද , ක්ලෝස් 2006 සහ 2010 හා 2014 ලෝක කුසලාන 3කදී ද ගෝල 15 බැගින් ලබා ඇත.






තරඟය අවසාන වූයේ අති ධාවනකාරී ලෙසය. අවසාන මිනිත්තු  කීපයේ දෙපසම  ක්‍රීඩා කලේ චමත්කාරජනක අවසාන ගෝලයක් හඹා යමිනි. ප්‍රථම භාගයේ ජර්මනිය 59%ක් බෝලය තබාගන රිද්මයකට ක්‍රීඩා කලේ අධි ආරක්‍ෂාවක් සහිතවය. නමුත් ඝානාව ප්‍රහාරක අවස්ථා වැඩියෙන් ලබාගත්තද ඉලක්කය නොවීය. අසමෝයා ගයාන් ආරම්භයේදීම හොඳම ගෝල අවස්ථාවක් මග හැරියේය.

තරඟය අවසානයට මිනිත්තු පහක් තිබියදී ක්‍ලෝස්ගේ දෙවැනි ගෝලය වැලකී ගියේ අසමෝ ගයාන්ගේ ලිස්සන පහරිනි. ඝානා ප්‍රහාරකයන් තිදෙනකු ජර්මන් ආරක්‍ෂකයන් දෙදෙනකුට එරෙහිව කඩාගන ගොස් සාර්ථක ප්‍රහාරයක්  දියත් කලත් ඕෆ් සයිඩ් වීම නිසා රන්මය අවස්ථාවක් අපතේ ගියේය.










තරඟය තවත් විනාඩි 90ක් තිබුණානම් හොඳයි කියන තරමට ආකර්ශණීය වූ අතර දෙපිලේම දක්‍ෂකම් කැපී පෙනුනි. පසුගියද ගෝල 4-0 ලෙස පෘතුගා‍‍ලය පැරදවූ ජර්මනියත් 1-2 ලෙස ඇමරිකාවට පරාජය වූ ඝානාවත් දෙකම මේ තරඟය ජයග්‍රහණය කරන්නට ඉඩ තිබිණි. දෙපිලම ක්‍රීඩා ක‍ල ආකාරය අනුව 2-2 ලෙස සමවීම වඩාත් හොඳ ප්‍රතිඵලයකි.

G කාණ්ඩයේ ජර්මනිය ලකුණු 4ක්ද , ඇමරිකාවට 3ක්ද, ඝානාවට 1ක්ද හිමියි. ලකුණු නොලබා සිටින පෘතුගා‍ලය හා ඇමරිකා තරඟයද,  පෘතුගා‍ලය හා ඝානා අතර තරඟයද තිබේ. ජර්මනිය හා ඇමරිකා තරඟයේ ප්‍රතිපලයද අවසාන දෙදෙනා තේරීමට බලපායි. ඝානාවට ඉදිරියට යාමට තිබෙන එකම මග පෘතුගාලය වැඩි ගෝල ගණනකින් පරාජය කිරීමය. පෘතුගාලයට ඊ ලඟ තරඟ දෙකම ජයග්‍රහණය කල යුතුය. කුමක් වේද? ලෝක කුසලානය අතිශයන්ම උද්වේගයි! ආකර්ශණීයයි!

No comments: